Tuesday, March 27, 2018

මෙලොව දියුණුවට සාර්ථක මග..01


    හොඳයි, මුලින්ම සියලු දෙනාටම යහපතක් අභිවෘද්ධියක්ම වේවා කියල පතනවා.. කාටත් එක වගේ වැදගත් වන මෙලොව දියුණුවට ඉවහල් වන මග ගැන ඉදිරියට කතා කරන්නට ඕනි කියලා මම හිතුවා.. කවුරුත් කැමතිනේ පරලොව දියුණුවට වඩා කලින් මෙලොව දියුණුව හදා ගන්නට. ඔව් මට හැකි අයුරින් ඊට ඔයාලට දිගටම උදව් කරන්න මා උත්සාහ කරනවා. මෙහිදී ආර්ථික වශයෙනුත්, අධ්‍යාත්මිකවත්, සමාජීය වශයෙනුත් සාර්ථක දිවියක් ගත කරන්නට ඉවහල් වන අයුරින් මාර්ග පෙන්වා දීමට මා ඉදිරියට බලාපොරොත්තු වෙනවා..
     මෙලොව දියුණුවට වගේම ඒ අනුසාරයෙන්ම පරලොව දියුණුව සකස් කර ගන්න හැටිත් අනිවාර්‍යයෙන්ම එතුලින් දකින්න පුලුවන් වෙනවා.. මොනා කරන්නත් මේ දෙකම සමබරතාවයෙන් තමයි ගමන යන්න වෙන්නේ. අසාමන්‍ය ලෙස දුක් විඳල ලබන නිවනකුත් නෑ. ඒ වගේම අසාමන්‍ය ලෙස සැප විඳල ලබන නිවනකුත් නෑ. හරියට ක්‍රම වේදය අල්ල ගත්තොත් සරලව ඕනි පැත්තකින් යන්නත් පුලුවන් වෙයි.
      නියම පිරිසිදු බුදු දහම හරිම ශාන්තයි..ප්‍රනීතයි..හරිම නිදහස්.. සත්‍ය වශයෙන්ම කියනවනම් මේ නියම බුදුදහම කියන්නේ, මර්ණයටවත්, අපායටවත් බය වෙලා දුවමින් හැන්ගිලා සිටින්නට මග පෙන්වන දහමක් නොවේ.. මුළුගැන්විලා ඉඳගෙන අවිචාරී විදියට හැමදේම දුකයි දුකයි ස්ථිර නෑ කිය කියා දුකෙහිම ගැලී ඉන්න දහමකුත් නොවේ.. අන්ධයින් මෙන් දෙව් ලොව යන්නට කියා දෙන දහමක්ද නොවේ..
      බුදු දහම මෙලොව, පරලොව, ලෞකික, ලෝකෝත්තර දෙකටම පොදුවූ කාටත් එකසේ ඵල ප්‍රයෝජන ලැබිය හැකි අකාලික වූ සුපිරිසිදු දහමකි.. එය ගිහි පැවිදි කාටත් ඵල ලැබිය හැකි උතුම් දහමකි.. බුදුන් වහන්සේ යනු මුණිවරයෙක්, ගුරුවරයෙක්, නායකයෙක්, රජෙක්, පියෙක් මෙන්ම මවක් මෙන් වනවා කියාද අප දත යුතුයි.. නියම පිරිසිදු බුද්ධ දේශනාව කුමක්දැයි ප්‍රඤාගෝචරව විමසා බලා වටහා ගනු මිස අන්ධ ශ්‍රද්ධා භක්තියෙන් ගත යුත්තක්ද නොවේ.. මේ දහම අපේ ජිවිතය ආලෝකමත් කර ගන්නට සැබෑ ලෙස උපයෝගී කර ගන්නේ කෙසේද කියා ක්‍රමාණුකූළව විමසා බලමු..
      එනිසා මා එක්ක මනාප අමනාප සියලු දෙනාම දිගටම රැඳී ඉන්න කියල මම කාරුණිකව ඉල්ලා සිටිනවා.. ඔයාල ඔක්කොටම ගොඩ යන්න පුලුවන් බොහෝ දේවල් පෙන්වා දෙන්න මා ඉදිරියට බලාපොරොත්තු වෙනවා.. මේ කියන දේවල් ඔබ හොඳින් අවධාරණය කරගත හොත් ඔබට බොහෝ ප්‍රයෝජන නෙලාගත හැකිවනු ඇත. ඔබගේ දෝත නිසි ලෙස සකස් කරගෙන ගඟට දැමුවොත් පමණක් ජලයට ඔබේ මුහුණ දක්වා ලඟාවීමට හැකිවනු ඇත.  එහෙම නැතුව දෑත ජලයට දැමූ පමණින් ඵලයක් ලබා ගැනීමට නොහැකි වේවි.
හොඳයි කොයි දේ කරන්නත් මෙන්න මේ දේවල් ටික ගැන මුලින්ම සරලව දැනගෙන ඉමු.
    ලොව සිටින අප සැම දෙනාම වගේ කුමන හෝ ප්‍රශ්න ජාලයකට මැදි වෙලයි ඉන්නේ. අප කවුරුත් නිරතුරුවම කුමන හෝ ආස්වාදයක්, සැපයක් සොයනවා. ඒ පසු පස්සේ දුවමින් වෙහෙසෙනවා. එහෙත් කිසිදා එහි ඇතිවීමකුත් තිබුණේ නෑ. කිසියම් ඌණතාවයක් නැවත නැවතත් ඇතිවෙනවා. ඒ අඩුව පිරෙන විට කිසියම් ආස්වාද මාත්‍රයක් දැනෙනවා..
      අපි බලාපොරොත්තු වන දෙය, කැමති වන දෙය (ඉච්ඡාව) ඉෂ්ඨ වන විට සුවයක් අපට දැනෙනවා. එසේම ඒ කැමති වූ දෙය, බලාපොරොත්තු වූ දෙය නොලැබෙන විට, ඉෂ්ඨ නොවන විට (අනිච්ඡ වන විට) දුක් වේදනාවක් අපට ඇති වෙනවා. ඉතින් මේ දුක් විඳින්නට කවුරුත් අකමැතියි  නේද?. එහෙත් කවුරු අකමැති වුවත් මේ ලෝකය නම් පිහිටලා තියෙන්නේ දුක මතමයි.. එය එක් ආර්ය සත්‍යයක්..
     ඒ වුනත් කිසියම් ආශ්වාද මාත්‍රයක් හරි මේ ලොව තියෙන බව වැටහෙන නිසයි කවුරුත් මේ ලොවට ඇලෙන්නේ ගැටෙන්නේ.. මේ ලොවෙහි ඇති රහට අප ඇලී ගැටී තව තවත් දුක් විඳිනවා.. හැබැයි කවුරුන් හෝ ආස්වාද විඳීමට ඇති කැමැත්ත අඩුකර ගත්විට (අල්ප ඉච්ඡ වු විට) දුක බොහෝ දුරට අඩු වීගෙන යනවා.. එනිසා අල්පේච්ඡතාවය කියන්නේ අපට ඉතා වැදගත් ධර්මතාවයක්..
    මේ ලොව ඇති සියලු දුකෙන් සදහටම නිදහස් වන්නට නම් ලෝකෝත්තර විය යුතුයි. ඊට ලෝකයෙන් එතෙර වන මගට පිවිසිය යුතුයි. එමගට පිවිසෙන්නට නම් මුලින්ම එමග දත් කළණ මිත්‍රයෙකු මුණගැසී මග අසා දැන ගත යුතුයි.. සැබෑ කළ්‍යාණ මිත්‍රයෙකු මුණගැසී ශෝතාපන්න (ශ්‍රෝත+ආපන්න) විය හැකියි.. ශෝතාපන්න වූවෙකුට ඒ මග ගොස් ඵල ලැබිය හැකියි..  
(සැබෑ කළ්‍යාණ මිත්‍රයෙකු මුණ නොගැසුණු අයට ඉදිරියේදී කළණ මිතුරන් මුණ ගැස්සවීමට උදව් කිරීමටද අප බලාපොරොත්තු වෙනවා. කළණ මිතුරන් සිව්වණක් පිරිස තුලම සිටිනවා.)  
    කළ්‍යාණ මිත්‍රයෙකුගෙන් සිරි සද්ධර්මය අසා දැනගත් පසු ඔහුගේ ඉච්ඡාව අඩු වෙනවා හෙවත් ඉච්ඡාව අව වෙනවා.. එවිට අව+ඉච්ඡ+ප්‍රසාදය ඇති වෙනවා. ඒ අවිච්ඡප්‍රසාදය තුලින් තෙරුවන් කෙරෙහි නොසැලෙන සැබෑ ශ්‍රද්ධාවක් ඇති වෙනවා.. ඔහු සැබෑ ලෙසම තෙරුවන් සරණ යනවා.. තිසරණ සරණ යන්නට අන් ක්‍රමයක් ලොවෙහි කොහේවත් නෑ. උපතින් බෞද්ධ වුවත්, තුන් සරණය කියෙව්වත් ඔහුට සැබෑ ලෙස තිසරණයක් පිහිටන්නේ නැත.. මෙය බොහෝ දෙනෙකුන් අද වරදවා ගෙන, පටලවාගෙන ඇති තැනක්..
     ඉතින් බුදුදහමට අවතීර්ණ වන පළමු පියවර තමයි තෙරුවන් සරණ යෑම කියන්නේ.. එහෙනම් තෙරුවන් සරණ යන්නේ කවුද, කොහොමද කියා අපි මුලින්ම නුවණින් දැන වටහා ගන්නම වෙනවා.. තෙරුවන් සරණ ගිය අයෙකුට අන් පිහිටක් පතන්නට නොහැකිද කියාත් දැන ගත යුතුයි..
     බුදුදහම හරියට වටහා නොගත් ප්‍රසිද්ධත්වයේ ඉහලටම ගිය ඇතැම් අය පවා මෙතන සම්පූර්ණයෙන්ම අනල විකෘති කරල මහත් විනාශයක් කරලයි තියෙන්නේ.. ඒ මිත්‍යා මතධාරීන් නිසා හෙළ බෞද්ධ ජනතාවට විශාල හානියක් සිදුවී තිබෙනවා.. එනිසා ඒවා ගැන කතා කරල නිවැරදි කරගෙන ඒ කටු අකුල් ඉවත දාල තමයි අපගේ දෙලොව දියුණුවේ මාවතට බසින්නට වන්නේ.. එනිසා අකමැත්තෙන් වුවත් සමහර තැන් වලදී මේ කුණු ගොඩවල් ඇදල දාල පිරිසිදු කර ගෙන යා යුතුම වෙනවා..
     දෙලොව දියුණුවට යන ගමනේ කළ යුතු පළමු දේ තමයි සැබෑ තෙරුවන් සරණ යනු කුමක්ද කියා හඳුනා ගෙන අදාල යතුර ගැනීම. මෙතන එක එක විදියේ අනුරූපී යතුරු රාශියක් තියෙනවා.. ඩුබ්ලිකේට් යතුරු නම් එමටයි.  හරියට නිවැරදි යතුර තෝරාගෙන ගතහොත් පමණයි පළමු දොර ඇර ගත හැකි වනුයේ.. දොර ඇරගත්ත කෙනාට ඇතුලට ගිහින් ඕනි දෙයක් කරගන්න පුලුවන්. ඉතින් ඔය නිවැරදි යතුර කුමක්ද කියා අසා දැනගන්නට තමයි කල්‍යාණ මිත්‍රයෙකුගේ සහාය ඕනි වෙන්නේ..
     මිත්‍ර ප්‍රතිරූපකයෝ කොතෙකුත් ඉන්නවා. හරි අය කවුද කියල යන එන ගමනින්, කතාකරන විලාසයෙන් නැත්නම් අඳින වස්ත්‍රයෙන් හොයා ගන්නට අපහසුයි. මිත්‍ර ප්‍රතිරූපකයින් ගිහි පැවිදි දෙපාර්ශවයේම ඉන්නව වගේ නියම කල්‍යාණ මිත්‍රයිනුත් ඔය ගිහි පැවිදි දෙපාර්ශවයේම ඉන්නවා.. සැබෑ කල්‍යාණ මිත්‍රයින් අප නොසිතන තැන් වලත් ඉන්නවා..  ඔවුන් හඳුනා ගන්නට අප බුද්ධිමත් විය යුතුයි..
හොඳයි එහෙනම් දැන් අපි බලමු තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකුට ඇතිවන ''අවෙච්චප්පසාදය'' කුමක්ද කියලා..
     මෙහි ලෞකක සම්මත අරුත් හැටියට අද ගැනෙන්නේ, නොසෙල්වෙන පැහැදීම, අචලප්‍රසාදය, නොකැඩෙන ශ්‍රද්ධාව, වගේ අදහසුයි. එනමුත් එලෙසින් මෙය ගිරව් වගේ කිව්වටම මදි.. එය ලැබෙන්නේ කෙසේද කියාත් නිවැරදිව දැන ගත යුතුයි.. එහි ලෝකෝත්තර අර්ථය ඊට වඩා එහා ගිය එකක්..
නිරුත්තිය - අව + ඉච්ඡා + ප්‍රසාද > අවෙච්චප්පසාද.
අව - අඩුවෙනව, ගෙවිල යනව. ක්ෂය වෙනව.
ඉච්ඡා - ලෝකයට පවත්නා කැමැත්ත, ඡන්ද රාගය, ආශාව.
ඉච්ඡතාවය අවභාවයට පත්වීමෙන් ඇතිවන ප්‍රසාදය අවෙච්චප්පසාදයයි.
එහෙනම් මේ ලෝකයට කැමැත්තෙන් බැඳී පවත්නා ආශාව අඩුවෙලා යන්නේ කාටද?
    සැබවින්ම අනිච්ච, දුක්ක, අනත්ත කියන තිලකුණු මනාව දැකල අස්සාද, ආදීනව, නිස්සරණ මනාව වටහාගෙන කළණ මිත්‍රයෙකුගෙන් සද්ධර්මය අසා සෝතාපන්න වුනු පුද්ගලයාටයි අවෙච්චප්පසාදය ඇති වන්නේ.. ඒ පුද්ගලයාට තමයි බුද්ධ, ධම්ම, සංඝ ගැන නොසැලෙන සද්ධාවක් ඇති වන්නේ.. තෙරුවන් ගුණ දැන පැහැදුනු ඔහුටයි ආර්ය කාන්ත ශීලයක් නිබඳවම පිහිටන්නේ.. ආර්ය කාන්ත ශීලය යනු රෙද්දක් පොරවාගෙන සිටින සිල්වතක් නොවේ.
    එහෙම නැතුව අන්ධවූ භක්තියෙන් යුතුව තෙරුවන් වැඳ වැඳ, යැද යැද හිටියට කිසිදා ඔහුට අචල සද්ධාවක්, අවෙච්චප්පසාදයක් ඇති වන්නේ නෑ.. නමෝ බුද්ධාය කිය කියා, පිළිම වලට වැඳගෙන, බජන් ගායනා කියමින් හිටියටත් වැඩක් නෑ.. (මෙතන කියන්නේ පිළිම වඳින්න එපා, පූජා පවත්තන්න එපා කියන එක නොවේ.. ඒවා නුවණින් යුතුව කල හැකියි)
     සමහරෙක් ''මම තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්, දැන් මම දේවාලවලට යන්නෑ, නැකැත් පිළිගන්නෑ,,'' කියල හිතන් හිටියට එතන තියෙන්නෙත් මිත්‍යාවක් විනා නොසැලෙන සද්ධාවක් නොවේ. ඇත්තටම නොසැලෙන සද්ධාවක් ඇතිවන්නේ සෝතාපන්න පුද්ගලයෙකුටයි. ඉන් මෙහා ඇත්තේ ලෞකිකවූ සැලෙන ශ්‍රද්‍ධාවක්මය..
     ’’මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වූවාහුද, ඒ සියල්ලෝ සොවාන්හ.''  (යෙ කෙචි, භික්ඛවෙ, මයි අවෙච්චප්පසන්නා, සබ්බෙ තෙ සොතාපන්නා. - අඞ්ගුත්තරනිකාය - අවෙච්චප්පසන්නසුත්ත)
     දැන් ඉතින් සමහරු සෝතාපන්න වෙනව කිව්වම කළබල වෙනව. ගොඩාක් අයගේ ඔලුවේ තැන්පත් වෙලා තියෙන්නේ මේක මහා අමාරු දෙයක්, අද කාලේ හිතන්නවත් බැරි දෙයක් වගේ අදහසුයි.  නෑ එහේම දෙයක් මෙතන නෑ.. සෝතාපන්න වුනු අය අද සමාජයේ ගිහි පැවිදි අය අතර කොතෙකුත් ඉන්නවා.. සිරි සද්ධර්මය අසා මගට පිළිපන්න කෙනාට තමයි සෝතාපන්න පුද්ගලයා කියන්නේ. ඒ පුද්ගලයා මග වඩන විට මග ඵල ලබනවා..  
      සෝතාපන්න වන්නේ සද්ධර්මය අසන විට මිස භාවනා කර නොවේ.. භාවනාවෙන් ලබන්නේ ඵලයකුයි. උද්ඝටිතඥ වැනි අයට බන අසන විටම ඵලයත් ලැබෙනවා.. බුද්ධ කාලයේ නම් බණ ඇසූ සියල්ලක්ම වාගේ සෝතාපන්න (සෝවාන්) වුනා.. ඒ කියන්නේ තෙරුවන් සරණ ගියා.. ඉතින් සෝවහන් වෙන්නේ පිරිසිදු සද්ධර්මය ශ්‍රවණය කරන විටදීම බව කවුරුත් වටහා ගන්නට ඕනි. සෝවාන් වෙනකොට මැජික් පේනව වගේ එක එක දේවල් වෙනව කියල බහුභූත අදහස් ගන්නත් එපා කවුරුවත්..
     සෝතාපන්න වෙනවා කියන්නේ නිවෙන ක්‍රමවේදය දැකීමයි.. එනම් නිවන් දැකීමයි මුලින්ම වන්නේ. ඉන් පසු දුටු නිවන පූර්ණය කර ගන්නට මග යනවා. අසා දැනගත් මග ගිය විට ඔහුට මගඵල ලැබෙනවා.. එය හරියට කියනවනම් රුවන්වැලි මහා සෑය ලඟට යන්නට මුලින්ම කෙනෙක්ගෙන් නිවැරදි මාර්ගය අසා දැන ගන්නවා බඳුය. අසා දැනගත් මග ඔස්සේ ගිය පසු කියූ ලෙසම එතන මහා සෑය තියෙනවා.. දැන් ඔහුට ප්‍රත්‍යක්ෂව පෙනෙනවා.. එහි කිසිඳු සැකයක් නෑ.
    සැබෑ ලෙස තෙරුවන් සරණ ගිය අය අවෙච්චප්පසාදය ලබනවා.. අවෙච්චප්පසාදය ලැබූ ඒ පුද්ගලයින් බුදුසසුනේ සිව්වණක් පිරිස තුලම ඉන්නවා.. ඔහු හෝ ඇය විවාහ ජීවිතයක් ගත කරමින්, අඹුදරුවන් පෝෂනය කරමින් සාමාන්‍ය ලෙස ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔහුට පොරවාගත් සිල්වතක් අවශ්‍ය නොවේ. එසේම ඔහු වාස්තු විද්‍යා, ජෝතිෂ, පුරාවිද්‍යා වැනි දේ වලිනුත් පිහිට ලබමින් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.. දෙවි වරුන්ගෙන් පිහිට ආශීර්වාද ගන්න අයෙක් වෙන්නත් පුලුවන්.  එය කිසිසේත්ම තිසරණ සරණයට හානියක් වන්නේ නැත. ඇතමුන් මේවාට වැරදි අර්ථකතන දීලා අද ධර්මයත් අවුල් කරල දාල මිනිසුන් විශාල පිරිසකට හානි පමුණුවල තියෙනවා..
    වාස්තු, ජෝතිෂ, යෝග වැනි ශිල්ප ශාස්ත්‍රයන්හි හෝ දෙවියන්ගේ පිහිට ලැබු විට ඔහුගේ තෙරුවන් සරණ නැති වෙනවා කියා බුදුදහමේ නම් කොතැනකවත් කියා නොමැත.. යමෙක් එසේ වෙනවා කියනවා නම් ඒ ඔහුගේ අඤාණ කමම මිස අන් කවරක්ද? ඇතැම් මහණ බමුණන් මේවා අද වන විට හොඳටම අනලයි තියෙන්නේ.. ඉතින් මිනිස්සු තව තවත් අසරණ වෙනවා.. පෙර අපේ හිටපු රාවණ වැනි හෙළ රජවරුන් දායාද කල ආයුර්වේද, ජෝතිෂ ආදී උතුම් සාශ්ත්‍රයන් විවිධ බලපෑම් මගින් මොවුන් විනාශ කරලයි තියෙන්නේ..
     ඒ අතර සමහරු නක්ඛත්ත ජාතකයේ ඇති ''කිං කරිස්සති තාරකා..'' කියන පාඨය වැරදියට තේරුම් අල්ලාගෙන පට්ට ගහනවා.. බුදුදහමේ නම් කොහේවත් ජෝතිෂ විද්‍යාවට ගරහල නෑ.. ඒවායින් පිහිටක් ගන්න එපා කියලත්, ඉන් තිසරණයට හානි වෙනව කියලවත් කොතැනකවත් නෑ.. (මේ කියනේ සාශ්ත්‍ර කාරයෝ, භූතයෝ පස්සේ යන්න කියන එක කියල වැරදියට හිතන්න එපා).  බුදුරදුන් බුදු වුනෙත් වෙසක් පෝය දවසක, අලුයම් කාලයේ, (බ්‍රහ්ම මූර්තිය පැවති වේලාවක) නැගෙනහිර දිශාව බලා ගෙනයි..
     තෙරුවන් සරණ ලැබූ අයෙකුට අනෙකුත් ලෞකික වූ විද්‍යා ශාස්ත්‍රයන්හි පිහිට ලබන්න එපා කියා බුදුදහමේ නම් කොහේවත් නැත. අන් පිහිට ලැබීම අහුගේ සද්ධාවට බාධාවක් නොවේ.. අද සමහරු මේව මිනිසුන්ට වැරදියට පටලවල කියල දීල බොහෝ මිනිසුන්ව නොමග යවලයි තියෙන්නේ.. ඉතින් මිනිස්සු තව තවත් අසරණ වෙලා.. මෙය ඉතාමත් සංවේග ජනක ක්‍රියාවකි.
    යමෙකු තෙරුවන් සරණ යන්න පුලුවන්.. එසේම ඔහුට සම්‍යග්දෘෂ්ටික දේවතා කොට්ටාස වලින් පිහිටාශීර්වාදය ලබන්නත් පුලුවන්.. හැබැයි ඔහු දෙවියන්ගෙන් සරණක් පතනවා නම් එතන වරදියි.. උදව්, පිහිටක් ගත්තට කමක් නෑ.. මේක සියුම්ව තේරුම් ගත යුත්තක්.  හැබැයි පිහිට ගන්න ක්‍රමය හරියට දැනගෙන ඉන්නත් ඕනි. නැත්නම් ඊට වඩා අවුලක් සිදු වෙයි. එනිසා ඒ නිවැරදි ක්‍රම පිළිබඳවත් අප ඉදිරියේදී කතා කරමු..
    දෙවිවරුන්ගෙන්, විද්‍යා ශිල්ප වලින් පිහිටාශීර්වාද ගැනීම ගැන තවත් විදියකට කියනවනම් යමෙක් ඇමති කෙනෙකුගෙන් රැකියාවක් ගන්න යනකොට ග්‍රාමසේවකගෙන් සහතිකයක් ගන්නව වගේ දෙයක් කියල හිතුවත් කමක් නෑ. ග්‍රාමසේවක ඇමති තුමාගේ පක්ෂයේ අයෙක් නොවුනත් සහතිකය වටිනව නේද?.. මෙතන සරණ යෑම වෙනයි, පිහිට උපකාර ලැබීම වෙනයි.. යම් කතක් පුරුෂයෙකු හා සරණ ගිය පසු ඇය තවත් කෙනෙකු හා යහන්ගත වෙනවානම් එතන ගැටලුවක් තිබෙනවා.. එසේ නොවී ඇය තවත් පුරුෂයෙකුගෙන් උදව් උපකාරයක් ගැනීම වරදක්ද? එතනින් ඇගේ පතිවත බිඳෙනවාද?
      ලෙඩක් හැදුනු වෙලාවට බෙහෙත් ගන්න එපා කියා බුදුරදුන් කියා තිබෙනවාද? එය තෙරුවන් බලයෙන්ම මැඩ පවත්වා ගන්න, නැත්නම් වෙන පිහිටක් ගන්න ගියොත් තිසරණය බිඳෙනවා කියා කොහේද කියා තිබෙන්නේ?
     අද සමහරක් මිනිසුන් දහම වරදියට වටහාගෙන මේවා හැමදේම පටලවාගෙනය.. නූගත් කමින් සමහරු ලෝකෝත්තර පිහිටත් නැති කරගෙන මදිවට ලෞකික පිහිටත් නැති කරගන්නවා..  ධර්මය සර්පයෙක් වගේ කියන්නේ ඔන්න ඕක තමයි.. වැරදියට අල්ලා ගත්තොත් තමන්ම විනාශ වෙනවා... ඉතින් අපට මෙහිදී කවුරු මොනව කිව්වත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිය යුතුම වේනවා.. ඇත්තටම මේවා කියන්නේ අනුන් විසින් අපේ ඔලුවලට දාපු මිත්‍යා අදහස් ගැලවෙලා යන්න විනා කා සමගවත් තරහකින් නොවේ. එනිසා කවුරුවත් මා සමග අමනාප වෙන්නත් එපා..
    මේ වන විට මිත්‍යා මතධාරීන් විසින් බුදුදහම කියල අහිංසක පිංවතුන්ගේ ඔලුවට වෙන වෙන බහුභූත විකාර ඇතුල් කරල ඊට උඩින් කොන්ක්‍රීට් තට්ටුවකුත් දාලයි තියෙන්නේ..  ඒ මිත්‍යා බැම්ම කඩාගෙන උඩට එන්නට සමහරුන්ට ඉතා අමාරුයි..  මේ කියන මහණ බමුණන් විසින් අහිංසක මිනිසුන්ගේ සිතීමේ නිදහසත්, විමසීමේ නිදහසත් සහමුලින්ම බ්ලොක් කරලයි තියෙන්නේ.. ඔවුන් තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට අල්ලාගෙන අනුන්වත් ඊට පොළඹවනවා.. ඉතින් සමහරුන්ට ලෞකික සැපයත්, ලෝකෝත්තර සැපයත් කියන දෙකම නැතිවී යනවා.. මේක හරිම භයානක තත්වයක්.. ඔවුන් එසේ කරන්නේ බොහෝ විට නොදැනුවත් කමින් වෙන්නත් පුලුවන්.. එනිසා ඔවුන්ටත් සත්‍ය අවබෝධ වීමට ඤාණය පහල වේවා කියා අප පතමු..
     පසුගිය කාලයේ එක්තරා සංගමයකින් මේ හෙළ බෞද්ධ ජනතාවට මහා හානිදායී වැඩ සමූහයක් කරගෙන ගිය බව නුවණ තියෙන අය දන්නවා.. ඒ ඉන්දියා බමුණු මතධාරීන් විසින් සැබෑ බුදු ඉතිහාසය නිරවුල් කරගන්නට තම අනුගාමිකයින්ට තිබුණු වටිනා අවශ්ථාවත් නැතිකලා.. බුදුන් හෙළබිම කිව්වොත් ආර්ය උපවාද වනවා කියා තම අනුගාමිකයින්ව රවටා නවත්ත ගත්තා.  එයින් වුනේ ඒ පිරිසට නිර්මළ බුදුදහම මතුවූ මේ යුගයේ නිවන් දැකීමට තිබුණු මග අහුරාලීමයි..
     ඇත්තටම කියනවනම් බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 2500කට වැඩිවූ අද කාලයේදී පිරිසිදු ධර්මය නිරාකරණය කර ගැනීමට නම් ඔහු ඉතිහාසය පිළිබඳව මූලික දැනුමක් ලබා ගත යුතුම වෙනවා. එය නොදැන බුදු දහම කුමක්දැයි නිසියාකාරව තේරුම් ගත නොහැකියි.. මක් නිසාද යත් මාගදී බස් වහර හරියට කුමක්දැයි නොදැන ත්‍රිපිඨකයේ ඇති අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත නොහැකි නිසයි.. එසේම යමෙක් මාගදී භාෂාව යනු ඉන්දියාවේ මගධ භාෂාවක් ලෙස වැරදියට වටහා ගතහොත් ඔහුට ධර්මය වරදිනවාය.. ඒසේම බුදුරදුන් ත්‍රිපිටකයේ සඳහන් උපමා කතා ආදිය පෙන්වා දුන්නේද මේ හෙළදිවයිනේම දේවල් සම්ම්බන්න්ධව බවත් තේරුම් ගත යුතුම වෙනවා. එනිසයි බුද්ධ දේශයේ ඇත්ත කතාව එතරම්ම ධර්මය පැත්තෙන් වටිනුයේ. මේ ගැන සියල්ලෝම මධ්‍යස්ථ සිතින් විමසා බලත්වා..
    ඉතින් ඒ උදවිය විසින් දැන් කාලයේ නිවන් දැකිය නොහැකි බවත් මතු බුදුවන මෛත්‍රීය බුදුන්ගේ කාළයේදී එය කළයුතු දෙයක් වන බවත් එතෙක් දිව්‍යලෝක වලට යන්නට කියා වැරදි පාරක් කියාදීමත් ඔවුන්ගෙ කර්තව්‍ය වෙලා තියෙනවා. අන්ධයා අනෙකාට පාර පෙන්වන්නේ කෙලෙසදැයි අප නම් නොදනිමු..
      එසේම මේ උදවිය විසින් නිර්මල බුදු දහමේ හදවත වන් අනිච්ච, දුක්ඛ, අනත්ත තිලකුණු නිවැරදි ලෙස පෙන්වාදෙන අරිය උතුමන්ට නොයෙක් අයුරින් ගරහමින්, අපහාස කරමින් ඊට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වැරදි අර්ථ ඇති බමුණු මතයම ඔප්නම්වන්නට දැඩි වෙහෙසක් ගෙන යමින් මිනිසුන්ව දැනටත් මුළා කරවනවා..
       එපමණක් නොවේ ඔවුන් දැනට අවුරුදු 20ක පමණ කාලයක් සිට සිංහලයාගේ ශිල්ප සාශ්ත්‍රයන්ට ගරහමින් ඒවායින් හෙළයාට මෙලෝ වශයෙන් ලබාගත හැකි කිසියම් පිහිටක් ලබා ගැනීමේ අවශ්ථාවත් අහිමි කලා.. ජෝතිෂ විද්‍යාව, වාස්තු විද්‍යාව, හෙළ වෙදකම වැනි දේවල් රාවණ යුගයේ සිට පැවති අපගේ ශිල්ප ශාස්ත්‍රයන්ය. ඒවා කිසියම් නියාම ධර්මතානුකූලව සකස් කළදේ වන අතර ඒවා නිවැරදි ලෙස යොදාගත හැකිනම් එතුලින් සාමාන්‍ය ජනයාට කොතෙකුත් ලෞකික ඵල ප්‍රයෝජන ගන්නට පුලුවන්.. මේවා භාවිතයෙන් එදා අපේ හෙළ ගොවියා සශ්‍රීක රටක් හැටියට ලොව අංක එකට අවුත් සිටියා.. බුදුරදුන් කිසි විටෙකත් ලෝක සම්මත ශිල්ප ශාස්ත්‍රයන්ට ගරහා නැත. අප ඒවායෙහි සරණ නොගොස් පිහිට ගත්තාට එහි කිසිම වරදක් නැත.. 
     එසේම ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් මෙන්ම නුවණින් යුතුව දෙවියන්ගෙන්ද සමහරුන්ට පිහිට ආශීර්වාද ලබන්නට පුලුවන් ක්‍රමවේදයක් තියෙනවා.. නිවැරදි ක්‍රමයන් ඔස්සේ අන් දේ තුලින් පිහිට ගැනීම තිසරණයට කිසිම හානියක් වන්නේ නැත..  උදාහරණයක් හැටියට අප හිතමු තෙරුවන් සරණ ගිය ගුණයහපත් යම් කිසිවෙක් මොන ක්‍රමයකින් හෝ නඩුවකට පැටලුණා කියල.. දැන් ඔහු ''මම කිසිම වරදක් කරල නෑ, තෙරුවන් සරණ මට තියෙනවා, එනිසා මට අන් පිහිටක් එපා.. ආදී වශයෙන් හිතුවොත් ඔහුට කුමක් වෙයිද? ඇත්තටම කියනවනම් මෙතනදී ඔහුට පෙරකදෝරුවකුගේ පිහිට පතන්න වෙනවා නොවේද?. එසේම නඩුවට අවශ්‍ය සාක්ෂි ලිපි ලේඛණ ආදිය එක් රැස් කරන්නත් වෙනවා.. තමන්ට පක්ෂපාතීව සාක්කි දෙන්නන්ගේ සහායද ගැනීම වැදගත් වෙනවා.. ඉතින් මේ ආකාරයට අන් පිහිට ගැනීම ඔහුගේ බෞද්ධකමට බාධාවක්ද?
     මේවා වැරදියට ගත් ඉහතකී මහණ බමුණන් අන් පිහිටක් පැතීමෙන් තිසරණය අහිමි වන බවට මුසා පවසනවා. ඔවුන් කියන්නේ අචල ශ්‍රද්ධාවට එය හානියක් වෙනවා කියාය.. ඉතින් මේ අවිච්ඡප්‍රසාදය කියන්නේ කුමක්ද කියාවත් හරියට නොවටහාගත් අයට අප කුමක් කියන්නද? මේවා හරියට තේරුම් නොගෙන අපට ඉදිරියට යන්නට නොහැකි වෙනවා..
      හොඳයි මම මේ ලිපියෙන් ඔබට දෙලොව දියුණුවටම ඉතාම වැදගත් වන මූලික කරුණු රාශියක් සරලව පෙන්වාදී තිබෙනවා.. හැකිනම් නැවත වාරයක් නිදහස් වෙලාවක කියවා බලන්න.. මූලික මග පිරිසිදු කර ගත්තාට පසු ඉතුරු ටික පහසුවෙන්ම යන්න පුලුවන්. මෙලොව දියුණුව සකස් කර ගන්න හැකි බොහෝ සැඟවුනු ක්‍රම ගැන දිගටම අපි කතා කරමු. එහෙනම් ඊලඟ ලිපියෙන් අපි නැවත හමුවෙමු. මෙහි වැදගත් දෙයක් ඇතැයි ඔබට සිතෙනවානම් අනෙක් හිතමිතුරන් අතරේත් බෙදා හැර පිං සිදු කර ගන්න..
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි..

No comments:

Post a Comment